Thursday, August 9, 2012

Facebook ඇබ්බැහි වීම් තත්ත්වයෙන් මිදීමට


 

අප මීට ඉහත ලිපියකින් facebook ඇබ්බැහි වීමේ තත්ත්වය  පිළිබඳ ඔබට කරුණු ඉදිරිපත් කරන ලදි. එම ලිපිය අවසානයේ facebook ඇබ්බැහි වීම් තත්ත්වයෙන් මිදීමේ ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබට පොරොන්දු වූ අතර මෙම ලිපිය යනු එම පොරොන්දුව ‍රැකීමකි.

facebook ඔබේ දෛනික වැඩ කටයුතු අඩපණ කර ඇත්ද

පාසලේ වැඩ, කාර්‍යාල කටයුතු, ඔබේ සමාජ ජීවිතයට  facebook හානි දායක ලෙස බලපානු ලබයිද?

එසේ නම් මේ එයින් මිදීමට කාලයයි.



     1.    ඔබේ අරමුණු පැහැදිළි කරගන්න.

facebook අපට ඉතා හොඳ අවස්ථා සපයන සමාජ සබඳතා ජාලයකි. එය අපට අප පවුල, යහළුවන් සමග නොනවත්වා සබඳතා පවත්වා ගැනීමට, තොරතුරු එකිනෙකා සමග හුවමාරු කරගැනීමට සහය වනු ලබයි. ඔබට එය ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ප්‍රචාරන උපක්‍රමයක් ලෙස භාවිත කිරීමේ හැකියාව පවතී. තවද අලුත් මිතුරන් හඳුනා ගැනීම සංවාදයන් තුළින් දැනුම වර්ධනය කර ගැනීම වැනි වාසි සහගත අවස්ථා රාශියක් facebook තුළින් අප සතු වෙයි.

ඔබ ඔබෙන් විමසිය යුතු ප්‍රශ්ණය වන්නේ මම facebook ගිණුමක් පවත්වාගෙන යන්නේ කුමක් සඳහාද?” ; “මම පළමු තැන දෙන්නේ ඉහත ප්‍රයෝජනයන්ගෙන් කුමන අවස්ථාවටද?”; “එම අරමුණ සපුරා ගැනීමට සරිලන කාල ප්‍රමාණයට වඩා කාලයක් මම facebook හි ගත කරනවාද?”

ප්‍රශ්ණය පැන නගිනුයේ එලෙස ප්‍රධාන එක් අරමුණක් තබා ගැනීම වෙනුවට පෙර සඳහන් කරන ලද සියළුම අරමුණු සපුරා ගැනීම සඳහා සමාන ලෙස වෙහෙස වීමයි. එලෙස සියළුම අවස්ථාවන් තුළට ඇතුල් වෙමින් එම සියල්ලම පවත්වාගෙන යාමේදී ඔබේ තොරතුරු අවුල් සහගත වන අතරම ඔබේ facebook ගිණුම ඔබේ කාල ඝාතකයා වනු නිසැකය.

ඔබේ අරමුණ ඔබේ ව්‍යාපාර ජාලය පවත්වා ගැනීම හෝ ඔබේ නිර්මාණ සඳහා ප්‍රේක්ෂක පිරිසක් නඩත්තු කිරීම නම්  එවිට නිතර නිතර පෞද්ගලික සහ පවුලේ ඡායාරූප facebook පි‍ටුවෙ tag කිරීම නුසුදුසු ක්‍රියාවකි. එය ඔබේ අරමුණට හානි පමුණවනු ලබයි. අර්ථයකින් තොරව හිතුමතේ facebook භාවිත නොකරන්න. ඔබ facebook භාවිත කිරීමේ අරමුණ නිශ්චිත කරගත් පසු හැකිතාක් ඒ තුළ සීමා වීමට අවධාරණය කර ගන්න. මේ තුළින් facebook ඔබේ මෙහෙකරුවකු කරගැනීමට සහ ඔබේ කාලය නිවැරදිව භාවිත වීම සිදුවනු ඇත.


     2.    කාලය සීමා කරන්න.

ඔබ ඔබේ facebook භාවිතාවේ අරමුණු නිරවුල් කරගත් පසු එම අරමුණ සපුරා ගැනීම සඳහා අඩවිය තුළ  කොපමණ වේලාවක් වැය කරනවාද යන තීරණයට පැමිණිය යුතු වේ. අප බොහෝ දෙනෙක් කාලය සීමා කිරීමට සිතා පරිගණකය ඉදිරිපිට අසුන් ගත්තද එය ප්‍රායෝගිකව සිදු කිරීමට අපොහොසත් වෙමු. StayFocusd වැනි වැඩසටහන් මේ සඳහා අපට උදව් කර ගැනීමේ හැකියාව පවතී. StayFocusd යනු ගූග්ල් ක්‍රොම් දිගුව(Google chrome extension) තුළ අන්තර්ගත අප එක් එක් වෙබ් අඩවිය තුළ ගත කරන කාලය සීමා කර ගැනීමට අපට ඉඩ ලබා දෙන වැඩසටහනකි. අප දිනකට වෙබ් අඩවියක් තුළ ගත කිරීමට බලාපොරොත්තු වන කාලය තීරණය කර එම වැඩසටහනට දන්වන අතර එම කාලය අවසන් වීමෙන් අනතුරුව එම දවස ඇතුළත සඳහන් කරන ලද වෙබ් අඩවියට පිවිසීම අවහිර කරනු ලබයි.  

  

3. ඔබේ අරමුණු අනෙක් අයට දැනගන්න ඉඩ හරින්න.

facebook ඔබේ හතුරකු නොව මිතුරෙකු බවට පරිවර්තනය කරගන්න. 30boxes වැනි දින දර්ශනයක්  ඔබේ ගිණුමට එකතු කර ගැනීම මෙහි එක් පියවරක් ලෙස සැලකිය හැකිය. 30boxes ඔබේ අරමුණු සහ සිදුවීම් සංවිධානය කිරීමට සහ අනෙක් මිතුරන් සමග ඒවා බෙදා ගැනීමට මෙම වැඩසටහන ඉඩ ලබා දෙයි. ඔබේ facebook මිතුරන් ඔබේ අරමුණු වෙත නියමිත කලට ලඟා වීමට ඔබව දිරිමත් කරන්නන් පිරිසක් බවට පත් කරගැනීම ඔබේ අරමුණු ඔවුන්ට නිරාවරණය කිරීම මගින් සිදු වේ.

30boxes සඳහා දිගුව:  http://30boxes.com/



     4.    Facebook විවේක ලබා ගන්න.


ඔබ facebook ඔබේ විනෝදාස්වාදය සඳහා භාවිත කරනවා නම් ඔබ සාර්ථකව කාර්‍යයක් නිමා කල විට ත්‍යාගයක් ලෙස එය භාවිතා කරන්න. උදාහරණයක් ලෙස ඔබ සෑම මිනිත්තු 30 කට මිනිත්තු 5 ක් facebook භාවිත කිරීමේ ක්‍රමය ඉතා සාර්ථක වන්නකි.


1 ඔබට සැපිරීමට ඇති කාර්‍යයක් තෝරා ගන්න.

2 මිනිත්තු 25 කට ඔබේ ඔරලෝසුවේ නාදය (Alarm) සකසන්න.

3 ඔරලෝසුව නාද වන තුරු ඔබේ කාර්‍යයේ නිරතවන්න.

4 මිනිත්තු 5ක කෙටි විවේකය ඔබට සතුට ගෙනෙන facebook වෙනුවෙන් වැය කරන්න.

5 සෑම වට 4 කට වතාවක් මිනිත්තු 5 කට වැඩි විවේකයක් ලබාගන්න. 
 

මෙහිදී ඔබ ලබාගන්නා විවේකය මිනිත්තු 5 කට සීමා කිරීමට සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා පෙර සඳහන් කරන ලද StayFocusd  වැඩසටහන භාවිත කරන්න.




    5.  පරිගණකය ක්‍රියා විරහිත කරන්න.


Facebook news feeds වලට වඩා විශාල ලෝකයක් ඔබේ කාමරයෙන් එහා පවතියි. එම නිසා පිටතට පැමිණ මිනිසුන් හමුවන්න. නව දින චර්‍යාවක් ආරම්භ කරන්න. අලුත් විනෝදාංශයක් සොයා ගන්න. මීට ඉහත අතීතයේ facebook නොපැවතුනු සමයේ පරම්පරා ගණනාවක් සිදු කළ ආකාරයට ජීවිත අත්දැකීම් ලබා ගන්න.
මෙම ලිපිය මගින් අපි facebook ඇබ්බැහි වීම් තත්ත්වයෙන් මිදීමේ මාර්ග සාකච්ඡා කළ අතර එය පාඨක ඔබට වැදගත් වනු ඇතැයි අපේක්ෂා කරමු.


ඔබේ ජීවිතය සහ අනෙක් මිනිස්සුන්ගේ ජීවිත යහපත් කරනු පිණිස අපි නිවැරදිව facebook භාවිතා කරමු.




S. A. SUCHINTHANA DASUN
B.A. PSYCHOLOGY (SP) (UG)
2ND YEAR
UNIVERSITY OF PERADENIYA
SRI LANKA


  

1 comment:

  1. ඉතාමත් වැදගත් ලිපියක්.බොහොම ස්තුතියි.

    ReplyDelete