Thursday, August 2, 2012

පරිණාමවාදය සහ මනෝවිද්‍යාව



දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවීම පිළිබඳ හාස්කම ගැන පුරාවෘත්තයන් ඈත අතීතයේ සිටම නොයෙකුත් මිනිසුන් අතර පැවතුණි. එහෙත් පසුකාලින මිනිසුන් ක්‍රමයෙන් සිතන්නට පෙළඹීමත් සමඟම ඔවුන් තුළින් විවිධ සොයා ගැනීම්, නව මතවාද, ආකල්ප ගොඩනැගෙන්නට විය. ජීවයේ ප්‍රභවය පිළිබඳව එතෙක් පැවති පුරාවෘත්ත සියල්ල එකිනෙකට බිඳ හෙලමින් එය පිළිබඳවද නව මත ඉදිරිපත් කරන්නට විය. මිනිසාගේ පරිසරයේ පරිණාමය පිළිබඳ අදහස විද්‍යාඥයින්ගේ චින්තනයට අවධානය යොමු කලයුතු කරුණක් සේ පෙනීයන්නට විය. අජීව හා සජීව ලෝකවල සංවර්ධන නියමයන් පදනම් කොටගෙන ගොඩනැගී තිබුණු සියළුම සාධක සංකේන්ද්‍රණය කොට ඒකායන ක්‍රමයක් ඇති කීරීමෙහිලා සමත් ශ්‍රේෂ්ඨතම ස්වභාවධරම විද්‍යාඥයෙක් 1809 වර්ෂයේදී බිහිවිය.



චාල්ස් රොබට් ඩාවින් 1809 පෙබරවාරි මස 12 වන දින් එංගලනතයේ ෂ් රූස්බරි නගරයේ උපත ලැබීය.  ඔහුගේ පියා වූයේ වෛද්‍ය රොබට් ඩාවින් සහ මව සුසෑනා ඩාවින් විය. "ඔහු පුතා හැදීම ගැන ඉතාමත් තද නීති දැම්මා.චාල්ස් ඒ ටවුමේ ග්‍රැමර් පාසැලේ ශිෂ්‍යයෙක්. ඔහුගේ ප්‍රධානාචාර්යවරයා ඔහුව හැඳින්වූවේ හැමතිස්සේම රට පුරා දුවන, අනන් මනන් වැඩ කරන,  කිසිම කිසි පලක් ඇති වැඩක් නොකරන පිස්සු කොල්ලෙක් හැටියටයි. 'පලක් ඇති' කියලා ඔහු හැඳින්වූවේ ග්‍රීක් හා ලතින් ක්‍රියා පද කට පාඩම් කරන එකටයි. 'රට පුරා දුවන' කියලා කිව්වේ වෙනත් කටයුතුත් අතර, හැම ජාතියේම කුරුමිණියෝ එකතු කරන එකටයි."(සොෆීගේ ලෝකය,පි.476). 1831 වර්ෂයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලද ඔහු 1831 වර්ෂයේ දකුණු ඇමෙරිකාවේ බලා පිටත්වන්නට වීම ඔහුගේ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් බවට පත් විය.

කෘත්‍රිම වරණ මූලධර්මය ඉදිරිපත් කිරීම චාල්ස් ඩාවින්ගේ ශ්‍රේෂ්ඨතම සේවය වශයෙන් හැඳින්විය හැකිය. මෙම මූලධර්මය උපයෝගීකර ගනිමින් ප්‍රධාන වශයෙන් මිනිසාගේ බලපෑම් යටතේ සතුන් හා පැලෑටි වර්ග වෙනස් කල හැකිය.ප්‍රකෘතියෙහි සත්ත්ව  හා පැලෑටි විශේෂ පරිවර්තනය වන බවත්, එය නොකැඩෙන සේ වෙනස්වීම සහ ආවේණික සමඟ බැඳී ඇති බවත්, පෙන්වන ස්වභාවික වරණය ඩාවින් විසින් සොයා ගැනීම වඩාත් ශ්‍රේෂ්ඨ සේවයක් විය.

විශේෂයෙන්ම ස්ථාවරතාවය පිළිබඳ ඩාවින්ට පෙර බලපෑ මතය ඔහුගේ පරිණාමවාදී න්‍යාය නිසා සුන්වී ගිය අතර මුළු මහත් ජෛව විද්‍යාව විප්ලවවාදී ලෙස වෙනස් කළ න්‍යාය ඩාවීනියානුවාදය විය. ප්‍රකෘතිවාදය පිළිබඳවූ සියළු ක්ෂේත්‍රයන්ට කා වැදුණු පරිණාමවාදී චින්තනය දැඩි ලෙස තහවුරු විය. ඩාවින්ගේ සමකාලීනයෝ ඔහුගේ න්‍යාය ආගම්වාදීන් කෙරෙහි ඔහු විසින් එල්ල කරන ලද දැඩි ප්‍රහාරයක් ලෙස සැලකීය. මාක්ස් හා එංගල්ස් වැන්නවුන් ඩාවින්ගේ චින්තනය සාධ්‍යතාවාදයට මාරක ප්‍රහාරයක් එල්ල කල නිසාත්, ජීවමය ප්‍රකෘතියෙහි අර්ථාන්විතභාවය ගැන කියැවෙන විඥානවාදය දැඩි ලෙස සොලවා දැමූ නිසාත් එය උසස් අන්දමින් අගය කරනු ලැබීය. ස්වභාවිකවරණය පරිණාමවාදී සාධකයක් ලෙස ඩාවින් ගණන් ගැනුයේ මිනිසාගේ වර්ධනයේ ඉතා මුල් අවධිවල පමණක් එය බලපෑ එකක් ලෙසය.



ඩාවින්ගේ කෘතීන් ගැඹුරු ලෙස ද්‍රව්‍යවාදීය. සත්ත්ව ලෝකයේ  ස්වභාවික ලෙස සම්භවය වී යැයි පෙන්වන ඔහුගේ ඉගැන්වීම් ආගමට විරුද්ධව කරන සටනේ දී තියුණු අවි විය. ඩාවින් විසින් රචිත "මිනිසාගේ සම්භවය සහ ලිංගික වරණය" (The Origin of Species by Means of Natural Selection ) කෘතිය මිනිසා සත්ත්ව ලෝකයෙන් පැවත එන බව ඔප්පුකරන ඉතා වැදගත් කෘතියක ලෙස දැක්විය හැකිය. ඩාවින් ස්වභාවිකවරණවාදය නිරීක්ෂණ දෙකක් ඇසුරෙන් හා උපකල්පන තුනක් ඇසුරෙන් මෙසේ දක්වයි.


නිරීක්ෂණ

1.      අධිජනනතාවය (over production)

2.      ප්‍රභේදනය (variation)

උපකල්පන

1.      ජීවන සටන (struggle for existence)

2.      ස්වභාවිකරණය (natural selection)

3.      උචි‍තෝන්නතිය (survival of the fittest)

 වශයෙන් දැක්විය හැකිය.




චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය මනෝවිද්‍යාවේ වර්ධනයට දායක වූ අයුරු


ස්වභාවිකවාදයේ ශාස්ත්‍රීය අඩිතාලම ඩාවින් විසින් පිහිටවනු ලැබූ අතර එමඟින් නූතන මනෝවිද්‍යාවට අතිශයින් වැදගත්වූ කරුණු දෙකක් එක්වීය. 19 වන ශතවර්ෂයේ අවසන් භාගය වනවිට ඩාවින්ගේ මෙම පරිණාමවාදී සංකල්පය බොහෝ විෂයන් කෙරෙහි බලපෑ අතර මනෝවිද්‍යාවේ වර්ධනය කෙරෙහිද මහත් බලපෑමක් එල්ල කරනු ලැබ තිබේ. ඩාවීනියානුවාදය බිහිවන විට මිනිසාගේ කායික විද්‍යාත්මක  පදනම ගැන යම් යම් කරණු ප්‍රකාශ වී තිබුණත් මානසික තත්ත්වයන් විග්‍රහ කිරීමේ ප්‍රවේශය දර්ශනය හා දේවධර්මය මුල්වූ බවක් පෙනේ. මේ නිසා මිනිසාගේ හා සත්ත්වයන්ගේ සමානතා නොදු‍ටු අතර, දේවධර්මයට අනුව මිනිසා ඔහුගේ වර්තමාන ස්වරූපයෙන් දෙවියන් විසින් නිර්මාණය කරනු ලබයිද, දර්ශනයට අනුව මානව චර්යාව බුද්ධිවාදී ක්‍රියාකාරකමක් වූ අතර තර්කනය විසින් එය මෙහෙයවනු ලබන බවද සැලකීය. ඩාවීනියානුවාදය විසින් මානව චර්යා පහත් බවට සම්මත් සත්ත්ව චර්යාවේ විකාශනයක් බවටත් විස්තර කරනු ලැබීය. මේ නිසා මානව චර්යාවෙහි සත්ත්ව චර්යා උරුමයක් දක්නට ලැබෙන් අතර සත්ත්ව චර්යාව ආශ්‍රයෙන් මානව චර්යාව අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබේ.

මිනිස් මානසික චර්යාවන් සත්ත්ව මානසික  චර්යාවන් අතර පැවැත්මක් ඇත යන නිගමනය මත මනෝවිද්‍යාඥයින් පර්යේෂණාගාර පරීක්ෂණ සඳහා සතුන්ගේ මානසික ක්‍රියාවලිය හැදෑරීමට පර්යේෂණ ආරම්භ කරනු ලැබීය.

ඩාවින් විසින් ස්වභාවිකවරණයෙහි උපකලපනයක වශයෙන් ජීවන සටන් (struggle for existence) පිළිබඳව මෙසේ දක්වා තිබේ. පරිසරයක ජීවත්වන ජීවීන්ගේ ගහණ ඝනත්වය වැඩිවෙත්ම ඒ පරිසරයේ ඇති සම්පත් සඳහා සීමාකාරී සාධක මතුවේ. එයට හේතුව ඇතැම් ජීවීන් එක් පොදු සම්පතක් අපේක්ෂා කිරීමයි. 

උදාහරණ: ශාක භක්ෂක සතුන් 

මේ අනුව ජීවීන් ආකාර කිහිපයක් එකම සම්පත භාවිත කිරීම තුලින්  ජීවත් වීම උදෙසා ඔවුන් අතර තරඟයක් ඇතිවේ. ඒ තරඟය එකම විශේෂයේ ජීවීන් අතර පොදු සම්පතක් උදෙසා (අන්ත:විශේෂ තරඟය) හෝ විශේෂ දෙකක් අතර පොදු සම්පතක් උදෙසා (අන්තර් විශේෂ තරඟය) තරඟ ඇති විය හැකිය. එසේ ජීවත් වීම සඳහා ජීවීන් අතර පවතින තරඟය ජීවන සටන නම් වේ.

නූතන මනෝවිද්‍යාවෙහිද ඉතා ඉහලින් පිළිගනු ලබන මූලධර්මයක් වන මිනිස් හා සත්ත්ව කණ්ඩායම් පොදුවූත් මූලිකවූත් චිත්තවේග පිළිබඳ අදහස ඩාවින් විසින් ඉදිරිපත් කරනු ලබයි.මේ අනුව මූලික චිත්තවේග පරිණාම ක්‍රියාදාමයෙහි වර්ධනයක් වශයෙන්ද ද්විතීය චිත්තවේග ස්වභාවධර්මයේ නොව සමාජ සංස්කෘතියෙහි බලවේගයන්ගේ වර්ධනයක් වශයෙන් විස්තර කරනු ලබයි.

විශේෂයෙන් ඩාවින්ගේ මෙම ඩාවීනියනුවාදය විශේෂයෙන්ම මනෝවිද්‍යාවෙහි කාර්යවාදී ගුරුකුලයෙහි වර්ධනය කෙරෙහි මහත් බලපෑමක් ලක්කරන්නට වූ බවත් නිතැතින්ම සඳහන් කලයුතුවේ. මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයේදී මිනිස් චර්යා කෙරෙහිද අවධානය යොමු  කලයුතු බව චර්යාවාදීන් සිතීමට පෙලඹුයේද මෙම ඩාවීනියානු සංකල්පය බව යැයි සිතිය හැකිය.

 
R.D.D.ANURADHA
BA.PSYCHOLOGY(SP) (UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.

0 comments:

Post a Comment