මිනිසුන් මෙතරම් යුධ වදින්නේ ඇයිද? මිනිසුන් මෙතරම් ප්‍රචණ්ඩ වන්නේ ඇයිද? එම මිනිසාම අනතුරකදී තවකෙකුට උදව් කරමින් ඔහුගේ දිවි ගලවන්නේ ඇයිද? යුධ වදින මිනිසාම සාමකාමී මිතුරෙකුගේ චරිතය නිරූපණය කරන්නේ කෙසේද?
මිනිස් ස්වභාවය ඉතා සංකීර්ණ වූවකි. ඉතිහාසය පුරාවට අප අපව තේරුම් ගැනීමට උත්සහ කරමින් සිටිමු. මෙම කාර්යේදී වඩා සාර්ථක වූ පුද්ගලයෙකි මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ්. මිනිසා පිළිබඳ විග්‍රහ කිරීමේදී ඔහුගේ Id (ඉඩ්), Ego (ඊගෝ), Super Ego (සුපර් ඊගෝ) සංකල්පය සාර්ථක සහ වඩා ජනප්‍රිය පිවිසුමකි. පෞරුෂය පිළිබඳ මනෝ විශ්ලේශණාත්මක මතය පදනම් කරගනිමින් ෆ්‍රොයිඩ් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. පෞරුෂය යනු එක් එක් මිනිසාගේ ස්වභාවය තීරණය කරනු ලබන සාධකයයි. එම පෞරුෂය නිර්මාණය වනුයේ 'ඉඩ්' (Id), 'ඊගෝ' (Ego) සහ 'සුපර් ඊගෝ' (Super Ego) යන අංග ත්‍රිත්වයෙන් බව ෆ්‍රොයිඩ් පවසයි.
ඉඩ් (Id)
'ඉඩ්' යනු අප උපතින්ම රැගෙන එන අංගයයි. සහජ ආශයන් එනම් ප්‍රාථමික ආශාවන් සහ අවශ්‍යතාවන් හා සම්බන්ධ අංශයයි. ආහාර පාන, සැපපහසුකම්, ලිංගිකත්වය කෙරෙහි අප පොළඹවනු ලබන්නේ 'ඉඩ්' විසිනි. අපට බඩගිනි ඇති වූ විට ආහාර කෙරෙහිද, තිබහ වූ විට පාන කෙරෙහිද අප සහජයෙන් ඒ වෙත යොමුවෙනු ලබයි. එසේ නම් 'ඉඩ්' අවිඥානිකය. එසේම ඉඩ් ක්‍රියා කරනු ලබන්නේ සංතුෂ්ටි මූලධර්මයට අනුවයි. සංතුෂ්ටි මූලධර්මයට යනු අප සියලු ආශාවන් වහා ඉටු කරගැනීමේ මූලධර්මයයි. අප බඩගිනි හෝ තිබහ ඇති වූ විට ඉක්මනින් එම අවශ්‍යතාවය සපුරා ගැනීමට වෙහෙසෙයි. කුඩා දරුවෙකු නම් තම අවශ්‍යතාවය ඉටුවනතුරු හඬයි. ඉඩ් සෑම විටම හොඳින් හෝ නරකින් අප ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා අපව පොළඹවනු ලබයි.
එනමුත් අප කවුරුත් දන්නා පරිදි අප සියලු ආශාවන් ක්ෂණිකව ඉෂ්ට කර ගැනීමට අපට කිසි විටක ඉඩ ලැබෙන්නේ නැත. අපේ සමහර ආශාවන් සහ අවශ්‍යතාවන් කිසිදිනෙක ඉටු නොවෙන අතර සමහර ඒවා වෙනුවෙන් කල් මැරීමට සිදු වෙයි.
උදා :- පංතියේදී සියල්ලන් ඉදිරියේ අතමන්ට අපහාස කළ තම මිතුරා මරා දැමීමට තමන්ට වුවමනා වුවද එය කිසි දිනෙක ඉටු නොවෙන්නට පුළුවන. එමෙන්ම පංතියේ ගුරුතුමිය පාඩම උගන්වන අතරතුර බඩගිනි ඇති වුවද විවේක කාලය පැමිණෙන තුරු රැඳී සිටීමට අපට සිදු වේ.
එහෙත් සංතුෂ්ටි මූලධර්මය මත ක්‍රියාත්මක වන 'ඉඩ්' ක්ෂණික සන්තර්පනයක් බලාපොරොත්තු වෙයි. එසේ සිදු නොවන විට නොඉවසුම් ආතතිකාරී අවස්ථාවකට මුහුණ දෙනු ලබයි. මෙවන් අවස්ථාවකදී 'ඉඩ්' විසින් ප්‍රාථමික ක්‍රියාවලියක් මගින් එම ආතතිකාරී තත්ත්වයෙන් මිදෙන්නට උත්සහ ගනී. එය නම් තම අවශ්‍යතාවය ආශාව මානසික චිත්‍රයක් මගින් සංසිඳවා ගැනීමයි.
උදා :- තමාට අපහාස කළ මිතුරා මරා දැමීම සැබෑ ලෝකයේදී කළ නොහැකි නිසා අප ඔහුව මරා දමන ආකාරය සිතින් මවා ගනී. පාඩම අතරතුර බඩගිනි වුවද විවේකය වන තුරු කෑම ගැනීමට නොලැබෙන නිසා . ආහාර සිතින් මවා ගනිමින් ආතතිකාරී තත්ත්වය යටපත් කරගනු ලබයි.
මෙම මානසික චිත්‍රය හිතා මතාම සිදු කරන්නක් විය හැකි අතර තවද එය සිහිනයක්, මිරිඟුවක් හෝ මායාවක් යන ඕනෑම එකක් වීමට හැක. එනමුත් ෆ්‍රොයිඩ්ට අනුව මෙය දිගු කාලීන විසඳුමක් නොවේ. සිදු වන්නේ ආතතිකාරී තත්ත්වය මදකට මැඩ පැවැත්වීමයි. මානසික චිත්‍රය මගින් කෙටි කාලීනව ආතතිය මැඩපවත් වුවද සත්‍ය වශයෙන් ආශාවන් ඉටු වී නොමැති නිසා ක්‍රමයෙන් නැවත මානසික අසහනයට පත් වෙනු ලබයි. 'ඉඩ්' යනු අප අභ්‍යන්තරයේ ප්‍රචණ්ඩත්වයයි. 'ඉඩ්' තම ආශාව සපුරා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටී. අප තුළ සිටින 'ඉඩ්' ගේ ස්වභාවය එය වුවද අප කවුරුත් දන්නා පරිදි ප්‍රායෝගික ජීවිතය තුළ අප එසේ නොකරන බව දනිමු. අපට යම් පුද්ගලයෙකු මරා දැමීමට වුවමනා වුවද අප එසේ නොකරමු. එසේ අප ඉඩ් පාලනය වීමට හේතුව 'ඊගෝ' සහ 'සුපර් ඊගෝ' ය.
සුපර් ඊගෝ (Super Ego)
'සුපර් ඊගෝ' යනු අප තුළ පවතින සදාචාරයයි, සංස්කෘතිය විසින් අපට ඉගැන්වූ සම්මතයයි. මෙම සදාචාරාත්මක ලක්ෂණ අප හිමි කර ගන්නෙ අප දෙමව්පියන්ගෙන් සහ අප ජීවත් වන පරිසරයෙනි. 'සුපර් ඊගෝ' නිර්මාණය වීම සඳහා එම කරුණු දෙක ඉතා තීරණාත්මක වෙයි. ජීවිතයේ තීරණ ගැනීමේදී 'සුපර් ඊගෝ' අපට මග පෙන්වන්නෙක් ලෙස කටයුතු කරයි. වයස අවු 5 සිට 'සුපර් ඊගෝ' අප තුළ වර්ධනය වන බව ෆ්‍රොයිඩ් පවසයි.
'සුපර් ඊගෝ' ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙයි.
1. 'ඊගෝ' පරමාදර්ශය - 'ඊගෝ' පරමාදර්ශය යනු දෙමව්පියන් සහ නීතිය මගින් අනුමත කරන ලද හොඳ හැසිරීමයි. එය අනුගමනය කිරීම තුළින් ගෞරවය සහ වටිනාකම පිළිබඳ හැඟීම් අප තුළ ඇති වේ.
2. හෘද සාක්ෂිය - මෙයින් අදහස් වන්නේ සමාජය සහ දෙමව්පියන් නරකයැයි සලකන අසම්මත චර්යාවන්ය. නිතරම මේවා තහනම් දේවල් වන අතර එවන් දේ සිදු කිරීම මගින් අපට ප්‍රතිවිපාක ලෙස දඬුවම් හෝ අප තුළ අප වරදකරුවෙක්ය යන හැඟීම ඇති කරනු ලබයි.
සුපර් 'ඊගෝ' අප චර්යාවන් ශිෂ්ට සම්පන්න කිරීමට සහ සම්පූර්ණ කිරීමට ක්‍රියාත්මක වෙයි. එය විසින් 'ඉඩ්' අපට යොමු කරනු ලබන අනුමත කළ නොහැකි පෙළඹවීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා 'ඊගෝ' වෙත බලපෑම් කරනු ලබයි.
උදා :- මහ මග ගමන් කරන විට ‘ඉඩ් ’ විසින් අපට විවිධ ලිංගික ආශාවන් සඳහා පෙළඹවීම් සිදු කළද ‘සුපර් ඊගෝ ’ මේ මහ පාර බව අපට මතක් කර දෙයි. එම නිසා අප සිතුවිලි එම අවස්ථාවේ ක්‍රියාවට නංවන්නේ නැත.
'සුපර් ඊගෝ' අප විඥානය, උපවිඥානය සහ අවිඥානය යන ත්‍රිත්වයේම පවතී.
ඊගෝ (Ego)
'ඊගෝ' යනු යථාර්තය සමග ගණුදෙනු කරනු ලබන පෞරුෂය අංගයයි. ෆ්‍රොයිඩ්ට අනුව 'ඊගෝ' වර්ධනය වනුයේ 'ඉඩ්' තුළිනි. ඉන් පසු 'ඉඩ්'ගේ ආශාවන් ලෝකය පිළිගන්නා ආකාරයට සංසිඳවීම 'ඊගෝ' විසින් සිදු කරනු ලබයි. 'ඉඩ්' සංතුෂ්ටි මූලධර්මය මත ක්‍රියාත්මක වන විට 'ඊගෝ' තත්‍යතා මූලධර්මය මත ක්‍රියාත්මක වෙයි. එනම් ඉඩ්ගේ ආශාවන් සමාජය පිළිගත් ක්‍රම වේදයට සන්තර්පනය කිරීමයි.
මෙහිදී ඊගෝ භාවිත කරනු ලබන ක්‍රමයක් වන්නේ සන්තර්පනය කිරීම ප්‍රමාද කිරීමයි. පසුව සුදුසු වෙලාව සහ ස්ථානය ලැබුණු කල ඊගෝ විසින් ඉඩ්ගේ ආශාව සන්තර්පනය කරනු ලබයි.
උදා :- පංති කාමරයේදී බඩගිනි වූ විට ඉඩ් කෑම ගන්නා ලෙස බල කලද 'ඊගෝ ' විසින් එය ප්‍රමාද කර විවේක කාලයේදී අහාර ගැනීමට සලස්වනු ලබයි.
'ඉඩ්' සහ 'සුපර් ඊගෝ' යන ප්‍රතිවාදීන්ගේ මැදහත් බේරුම්කරුවා 'ඊගෝ' ය.
ඉඩ්, ඊගෝ සහ සුපර් ඊගෝහි ක්‍රියාකාරීත්වය.
'ඉඩ්' යනු නිරන්තරයෙන් තම ආශාවන් කෙසේ හෝ සපුරා ගැනීමට වෙහෙසෙන්නෙකි. 'සුපර් ඊගෝ' යනු අපව සදාචාරාත්මක හැසිරීමකට යොමු කරන්නෙකි. එසේ නම් මෙම දෙදෙනා එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙයි. මෙම ප්‍රතිවිරුද්ධතාව පාලනය කරනුයේ 'ඊගෝ' විසිනි. 'ඉඩ්'ගේ ආශාවන් සමාජය පිළිගත් ආකාරයට සපුරාදීමෙන් 'ඉඩ්' සහ 'සුපර් ඊගෝ' අතර ගැටුම සමනය කිරීම 'ඊගෝ' විසින් සිදු කරනු ලබයි.
උදා :- රාත්‍රී උත්සව අවස්ථාවකට සහභාගී වූ යුවළකට ලිංගිකව එකතු වීමේ අවශ්‍යතාවය 'ඉඩ්' විසින් ඇති කරනු ලබයි. එනමුත් දෙදෙනාගේම 'සුපර් ඊගෝ' එය නොකරන ලෙසද අවට මිනිසුන් සිටින නිසා මේ ඊට සුදුසු ස්ථානය නොවන බවද පවසයි. මෙම ගැටුම සමනය කිරීමට මැදිහත් වන 'ඊගෝ' හුදකලා ස්ථානයක් වෙත දෙදෙනාව රැගෙන යනු ලබයි.
ඊගෝ බලවත් මිනිසුන් 'ඉඩ්' සහ 'සුපර් ඊගෝ' ගැටුම පාලනය කර ගැනීමට සමත් වෙයි. එසේ නොවන මිනිසුන් 'ඉඩ්' දෙසට වැඩිපුර නැඹුරු වීම හෝ 'සුපර් ඊගෝ' දෙසට වැඩිපුර නැඹුරු වීම සිදු කරනු ලබයි. එවිට අන්තවාදී ප්‍රචණ්ඩත්වය හෝ අන්තවාදී සදාචාරාත්මක මිනිසෙකු බිහි විය හැක.
ෆ්‍රොයිඩ් පැවසූයේ වඩා සුදුසු වන්නේ 'ඉඩ්', 'ඊගෝ' සහ 'සුපර් ඊගෝ' සමබරව පැවතීම බවයි. අප සියළුදෙනා පවතින්නේ මෙම අංග ත්‍රිත්වයේ අන්තර් ක්‍රියාකාරීත්වය මත බව ෆ්‍රොයිඩ් පෙන්වාදෙයි. මිනිසා පිළිබඳ මෙතෙක් කරන ලද විශිෂ්ටම විග්‍රහයක් ලෙස ෆ්‍රොයිඩ්ගේ මෙම සංකල්පය හැඳින්විය හැක.
S. A. SUCHINTHANA DASUN,
BA PSYCHOLOGY (SP)(UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.
බුදුන් විසින් සිත පිළිබඳව කරණ විග්‍රහය තුල මේ කාරණා අඩංගු වන්නේ නැතිද?
ReplyDelete