Monday, July 30, 2012

විද්‍යාත්මක ක්‍රමය සහ මනෝවිද්‍යාව



"විද්‍යාව " යන විෂය අද මෙන් පැරණි යුගයන්හි දක්නට නොලැබිණ. තාරකා ශාස්ත්‍රය, දර්ශනය වැනි විෂය විද්‍යාවන් හා ප්‍රබල සම්බන්ධයක් දක්නට ලැබේ. පැරණි ශිෂ්ටාචාර විද්‍යාත්මක වශයෙන් වැදගත් වුවද, විද්‍යාත්මක චින්තනය සම්බන්ධයෙන් අප අවධානය යොමු කල යුත්තේ බටහිර රටවල් හා සමගය. මන්දයත් විද්‍යාත්මක ක්‍රමයේ බිහිවීම සනි‍ටුහන් වනු ලබන්නේ බටහිර ලෝකයෙන් වීම නිසාවෙනි.  පැරණි යුගයන්හීදී විශ්වය පිළිබඳ මත පල කිරීමේදී ඒ සඳහා දේවධර්මයත්, දර්ශනයත්, විද්‍යාවත් යන ත්‍රිත්වය එකට සමීප සබඳතාවයක් පැවතුණි. මෙම යුගයන්හි චින්තනයෙහි කැපීපෙනුණ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් නම්,                        

    1.      ස්වාභාවික වස්තූන් දේවත්වයෙහි ලා සැලකීම
    2.      ස්වභාවික ක්‍රියාවන් දිව්‍යමය බලවේග ලෙස සැලකීම
   3.      විශ්වයේ සම්භවය හා ක්‍රියාකාරීත්වය ගූඪ ගුප්ත බලවේඉග මඟින් මෙහෙයවන්නක් ලෙස සැලකීම
යනාදිය පෙන්වාදිය හැකිය.

දර්ශනයේ පියා ලෙස හැඳින්වෙන "තේලීස්"  ලොව සියළුම දේ ජලයෙන් සෑදී ඇතැයි ඔහු විසින් ඉදිරිපත් කර ඇති මතය විද්‍යාත්මක චින්තන ඉතිහාසයේ ඉතා වැදගත් වූවක්  ලෙස පෙන්වා දිය හැකිය.

නවීන විද්‍යාවෙහි ආරම්භය ඇතිවන්නේ කොපර්නිකස්ගෙන් යැයි බොහෝ විද්වතුන් විසින් ප්‍රකාශ කර තිබේ. එම නිසා කොපර්නිකන් විප්ලවය විද්‍යා  ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැකිය. සූර්යයා කේන්ද්‍ර කරගනිමින් ග්‍රහවස්තූන් චලනය වන බව දැක්වූ ඔහු පෘථිවිකේන්ද්‍රවාදය ප්‍රතික්ෂේප කරනු ලැබීය. ගැලීලියෝටද නවීන විද්‍යාවෙහි ආරම්භය ගැන කතා කිරීමේදී වැදගත් ස්ථානයක් හිමිවේ. මෙකල මෙසේ විද්‍යාත්මක අදහස් ක‍තෝලික පූජකවරුන්ගේ උදහසටත්, ඔවුන් සමච්චලයට ලක් කිරීමක හැටියටත්, ශුද්ධ වූ බයිබලයට පටහැණි කරුණු  ඉදිරිපත් කිරීමත් නිසා මෙම නවීන විද්‍යා පුනරුදයට දායක වූවන් රාශියකට අවසානයේදී මරණය නියම විය.



විද්‍යාත්මක ක්‍රමය


නවීන විද්‍යාත්මක විෂයන් ගොඬනැගීමට භාවිතා කරනු ලබන ගවේෂණ ක්‍රමය විද්‍යාත්මක ක්‍රමයයි. විද්‍යාවන්හි යොදාගනු ලබන විධි ක්‍රම එම විද්‍යාවන්හි නිගමනය ලබා ගැනීමට අනුගමනය කරනු ලබන විධි ක්‍රමයන් වන අතර එම  විද්‍යාත්මක විධික්‍රමයන්  ලෙස දක්වන්නේ විද්‍යාවන්හි දක්නට ලැබෙන ගැටළු විද්‍යානුකූලව විසදීමට යොදා ගනු ලබන්නයි. විද්‍යාත්මක විධි ශාස්ත්‍රයන් ගැන කරුණු දැක්වීමේදී මූලික වශයෙන් විද්‍යාත්මක ක්‍රම භාවිතාවන වෙනස් ක්ෂේත්‍ර දෙකක් හඳුනා ගත හැකිය.

1.      ස්වභාවික විද්‍යාවන්හි භාවිතා වන විද්‍යාත්මක ක්‍රමය
2.      සමාජීය  විද්‍යාවන්හි භාවිතා වන් විද්‍යාත්මක ක්‍රමය

බොහෝ විෂයන් විද්‍යාත්මක වශයෙන් දියුණු විද්‍යාවන් බවට පත් වූයේ විධි ශාස්ත්‍රය පුළුල් වශයෙන් එම විෂයන් වලට භාවිතා වූ පසුවය. දැනට විද්‍යාත්මක ගවේශණයන් හි නිරත වන්නාවූ පර්යේෂකයන් විසින් එම කාර්ය ඉෂ්ට කර ගැනීම සඳහා සිදු කළ යුතු මූලික අදියර කිහිපයක්ද හඳුනා ගෙන තිබේ. විවිධ විද්‍යාවන්හි යම් කිසි ගැටළුවකට නිගමනයක් ඉදිරිපත් කිරීමේදී  ඒ කාර්ය සිදුකළ හැක්කේ  විද්‍යාත්මක ක්‍රමය යොදා ගැනීමෙන් බව පෙනේ. විද්‍යා ඉතිහාසයේ මුල් අවධීන් වලදී මෙසේ ක්‍රමානුකූල වූ ක්‍රියා පද්ධතියක් අනුගමනය නොකරනු ලැබූ අතර පසුකාලීන ප්ර්යේෂකයන්ගේ අවධානය විද්‍යාත්මක ක්‍රමය වෙත යොමු වීමේ ප්‍රතිඵලයක් වශයෙන්  ක්‍රමානුකූල වූත් විද්‍යානුකූලවූත් ප්‍රතිඵල ලබා ගැනීමට මෙය ඉවහල් වන බව සැලකීය. විද්‍යාත්මක ඥානය ගොඬනැගීමෙහිලා උපකාරීවන පියවර මෙසේ දැක්විය හැක.








මනෝවිද්‍යාවේ වර්ධනය විද්‍යාත්මක ක්‍රමයේ දායකත්වය


දර්ශනය හා බද්ධ වී පැවති මනෝවිද්‍යාව දර්ශනෙයෙන් මිදී වර්තමානය වනවිට ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් වශයෙන් වර්ධනය වෙමින් පවතිනු දක්නට ලැබේ. මනෝවිද්‍යාව දෙස බලන කළ එහි ස්වාභාවික, සමාජ, චර්යා, ව්‍යවහාර, ශුද්ධ යන විද්‍යා අංශ කෙරෙහි විද්‍යාත්මක ක්‍රමය (විද්‍යාත්මක ලක්ෂණ) යොදාගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ.

ඇතැම් විද්වතුන් මනෝවිද්‍යාවෙහි සිත හෙවත් මනස විද්‍යාත්මක වශයෙන් හැදෑරිය නොහැකි බව දක්වනු ලැබුවද,වර්තමානය වනවිට කායික විද්‍යාත්මක හා විද්‍යුත් විද්‍යාත්මක වශයෙන් මිනිසාගේ මනස පිළිබඳ පර්යේෂණ සිදුකිරීමෙහිලා මනෝවිද්‍යාඥයින් යොමු වී ඇති බවක් දක්නට ලැබේ. better without eheth මනෝවිද්‍යාව විද්‍යාත්මක වශයෙන් වර්ධනය වූයේ චර්යාවාදය ආරම්භයත් සමගමය. මනස පිළිබඳ අධ්‍යයනය කිරීම වෙනුවට සත්ත්ව චර්යාවන් අධ්‍යයනය කිරීම, විද්‍යාත්මක ක්‍රමයට සමගාමී ලෙස මනෝවිද්‍යාව විෂයක් වශයෙන් වර්ධනය වීම ආරම්භ වීය.

විවිධ විද්‍යාවන්හි අන්තර්ගත විෂය කරුණු විවිධවූවත් එහි විද්‍යාවන්හි දැනුම කිසියම් වූ පොදු රාමුවක් වටා ගොඬනැඟී ඇති බවක් දක්නට ලැබේ. එම විද්‍යාත්මක ක්‍රමවේදය පහත අයුරින් දැක්විය හැකිය.

          I.            විද්‍යාත්මක ක්‍රමයේ පොදු ආකෘතිය
         II.            පර්යෙෂණ ක්‍රමවේදය
    I    II.            තොරතුරු ‍රැස්කිරීමේ ක්‍රමවේදය
        IV.            වාස්තවිකභාවය හා ගැටළු

විද්‍යාත්මක ක්‍රමවේදයේ පොදු ආකෘතිය හෙවත් පොදු රාමුව මෙසේය.

          I.            විද්‍යාත්මක ගැටළුවක් හඳුනා ගැනීම
         II.            උපන්‍යාසයක් ගොඬනඟා ගැනීම
        III.            වෛකල්පිත උපන්‍යාසයක් ඇද්දැයි පරීක්ෂාකර බැලීම
        IV.            පරීක්ෂණ ක්‍රියාවලිය
         V.            සත්‍යෙක්ෂණය
        VI.            නිගමනය

මනෝවිද්‍යාව තුළද මෙම පොදු වූ විද්‍යාත්මක ක්‍රමයේ ආකෘතිය මත ගොඩනැගීමක් දක්නට ලැබේ. විද්‍යාත්මක ක්‍රමයෙහි පොදු ආකෘතිය මත ගොඩනැගී ඇති ඕනෑම විෂය ක්ෂේත්‍රයක් විද්‍යාවක් වේ නම්, මනෝවිද්‍යාවද නියත වශයෙන් එම ඝනයට ඇතුලත් වේ.

මනෝවිද්‍යාඥයින් මානසික/ චර්යාත්මක ගැටළුවක් හඳුනාගෙන ඒ සඳහා උපන්‍යාස ගොඩනගා ගන්නා අතර පසුව නිරීක්ෂණය හෝ සම්පරීක්ෂණය තුලින් සත්‍යෙක්ෂණය කරගනු ලබයි. පසුව ස්වාභාවික විද්‍යාඥයන් සේ ආනුභවික පදනම මත නිගමන වලට පැමිණේ. විද්‍යාවේ වාස්තවිකභාවය යනුවෙන් හඳුන්වන්නේ පොදු නිගමනවලට එළඹීමේ හැකියාවයි. සම්පරීක්ෂණයක් නැවත සිදුකිරීමේදී එහි ප්‍රතිඵලය සමාන වීම වාස්තවික විද්‍යාවන්හි මූලික ලක්ෂණය වශයෙන් පෙන්වාදිය හැකිය. මනෝවිද්‍යාව ගත් විට එහි ස්වාභාවික විද්‍යා ලක්ෂණ පෙන්නුම් කරනු ලබන කායික හා පරීක්ෂණාත්මක මනෝවිද්‍යාව ආදී මනෝවිද්‍යා අංශ තුළ විද්‍යාත්මක ක්‍රමය ඉතා පහසුවෙන් භාවිතා කිරීමටත්, පොදු නිගමනයකට එළඹීමේ හැකියාවත් නිසා මෙම අංශ වාස්තවික විද්‍යා ඝණයට ඇතුළත් වේ. එහෙත් මිනිසා හා චර්යා රටා අධ්‍යයනයෙදී පර්යේෂකයාට වාස්තවිකභාවය පිළිබඳ ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. මන්දයත්, මිනිස් හැසිරීම් විද්‍යාගාර තුළදී පර්යෙෂණ තුළින් පාලනය කළ නොහැකි වීමත්, පුද්ගලයෙක් එකම අවස්ථාවේදී දෙයාකාරයෙන් හැසිරිය හැකිවීමේ සම්භාවිතාවය වැඩිවීමත්, මිනිසුන් කිහිපදෙනෙක් එකම උත්තේජයකට ප්‍රතිචාර දක්වන ආකාරය විවිධාකාර වීමත්, මිනිසුන් සිය ප්‍රතිචාරයන් සඟවා වෙනත් ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීමේ ඇති ඉඩකඩත් නිසා මිනිස් මානසික ක්‍රියාවලිය පර්යේෂණයට ලක්කිරීමට අපහසු වී තිබේ. එනමුත් මනෝවිද්‍යාව චර්යා විද්‍යාවක් වශයෙන් ගත් විට එය ආනුභවික විද්‍යාවක් ලෙස අර්ථ ගැන්වීම සිදුකළ යුතුවේ.



මනෝවිද්‍යාව හා පර්යේෂණ ක්‍රමවේදය


මනෝවිද්‍යාවෙහි  පර්යේෂණ හා නිරීක්ෂණ ක්‍රම රාශියක් දක්නට ලැබේ. උපන්‍යාස සත්‍යෙක්ෂණය කිරීම සඳහා වූ සමීක්ෂණ, දත්ත සම්පාදනය සඳහා යොදා ගන්නා නිරීක්ෂණ ක්‍රමය, මිනුම් ක්‍රම වශයෙන් වර්ග කළ හැකිවේ.
 
විද්‍යාගාර වැනි පර්යේෂණාගාර තත්ත්වයන් යටතේ සාධක පාලනය කරමින් සිදුකරනු ලබන පරීක්ෂණ ක්‍රමය සම්පරීකෂණය වශයෙන් හඳුන්වනු ලබයි. සම්පරීකෂණයේදී වරකට එක් සාධකයක් බැගින් සාධක පාලනය සිදුකරනු ලබයි. මනෝවිද්‍යාවෙහිද මූලධර්ම රාශියක් ගොඩනගීමට මෙම සම්පරීකෂණ ක්‍රමය බොහෝ සෙයින් උපකාරී වී තිබේ.

උදා:
     ·         පැව්ලොව්ගේ ඉගෙනීම සම්බන්දයෙන් කරනු ලැබූ පරීකෂණය
     ·         කැනන්ගේ කුසගින්න පිළිබඳ පරීකෂණය
පෙන්වාදිය හැකිය.

සමාන විකලනයන්ගෙන් යුත් සසම්භාවී කණ්ඩායම් දෙකක් ගෙන එයින්  එක් කණ්ඩායමකට සාධක පාලනය කරමින් හා අනෙක් කණ්ඩායමේ සාධක පාලනය නොකරමින් සිදුකරනු ලබන්න පාලිත කණ්ඩායම් ක්‍රමය වශයෙන් හඳු න්වයි.

උදා:-  කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන පුදගල කණ්ඩායම් දෙකක් ගෙන එහි එක් කණ්ඩායමකට විවේකය ලබාදීමත් අනෙක් කණ්ඩායමට විවේකය නොලබා එක දිගට වැඩකිරීමට සැලැස්වීමත් තුළින් විවේකයේ වැදගත්කම පෙන්වාදිය හැකිය.

ප්‍රත්‍යෙක පරීක්ෂණ ක්‍රමය තුළින් අතීත තොරතුරු සමග වර්තමාන තොරතුරු සම්බන්ධ කිරීමෙන් විසදුම් සෙවීම සිදුකරනු ලබයි. මෙය මනෝවිද්‍යාවෙහිදී වැදගත්වන අතර විශේෂයෙන්ම සායනික, උපදේශන, සමාජ, සංවර්ධනාතමක ආදී මනෝවිද්‍යා අංශ් කෙරෙහි බෙහෙවින් යොදා ගනු ලබනු දක්නට ලැබේ.

උදා:- යම් පුද්ගලයෙක් මානසික අසහනයෙන් පෙලෙන්නේ නම් ඔහුගේ අතීතය පිළිබඳ ප්‍රශ්න කිරීම තුළින් වර්තමාන මානසික ආබාධය කෙරෙහි බලපා  ඇති තොරතුරු අවධාරණය කරගත හැකිය.

ක්ෂේත්‍ර අධ්‍යයනයද විශේෂයෙන්ම මනෝවිද්‍යාවෙහි යොදාගනු ලබයි. උපන්‍යාසයට අදාළ සම්බන්ධතා මානව පරිසරය  තුළින් සොයා ගැනීම මෙහිදී සිදුවේ. සමාජ මනෝවිද්‍යාව තුළ මෙම ක්ෂේත්‍ර අධ්‍යයන වැඩි වශයෙන් දක්නට ලැබේ.

උදා:-
     ·         සියදිවි නසා ගැනීම
     ·         බාලවයස්කරුවන් අපරාධ කෙරෙහි යොමු වීම 

      හුදෙක් ක්ෂේත්‍ර අධ්‍යයනයක් තුළ මනෝවිද්‍යාඥයෙකු මුදුන් පමුණුවා ගන්න අභිමතාර්ථ කිහිපයක් තිබේ.
      කිසියම් සමූහයක, ආයතනයක, සංස්ථාවක ආකල්ප පිළිබඳව දළ අවබෝධයක් ලබා ගත හැකිවීම.

        එම සමූහ, ආයතන, සංස්ථා වල ව්‍යූහාතමක ගැටළු හඳුනා ගෙන ඒ සඳහා නව ප්‍රතිපත්ති සැලසුම් ඉදිරිපත් කරමින් මඟ පෙන්වීමට හැකිවීම.
         වර්ධනය කළයුතු අංශ හා අත්හල යුතු අංශ මොනවාදැයි හඳුනා ගැනීම වැනි අභිමතාර්ථයන් පෙන්වා දිය හැකිය.

මනෝවිද්‍යාව තුළ විද්‍යාත්මක  ක්‍රම බොහෝ සෙයින් දක්නට ලැබේ. ඒසෙම විද්‍යාත්මක ක්‍රමය පමණක් නොව මනෝවිද්‍යාව සුවිශේෂී වූ නිරීක්ෂණ ක්‍රමද දක්නට ලැබෙන බවද සඳහන් කළ යුතුවේ.

යුරෝපය තුල හටගත් විද්‍යා පුනරුදයත් සමගම සිදුවූ විද්‍යාත්මක ක්‍රමවේද භාවිතය ද, මනෝවිද්‍යාව වර්ධනයෙහිලා මහත් රුකුලක් වන්නට විය. විශේෂයෙන්ම විවිධ විද්‍යාවන්හි අන්තර්ගත විෂය කරුණු විවිධ වුවත් එම විද්‍යාවන්හි දැනුම ගොඬනැගී ඇති ක්‍රමවේදයන්හි යම් පොදු ආකෘතියක් දැකගත හැකිය. මෙම විද්‍යාත්මක ක්‍රමයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මනෝවිද්‍යාව තුලද මෙම පොදු වූ ආකෘතිය ක්‍රියාත්මක වන්නට විය. ඒ නිසා මනෝවිද්‍යාවෙහි පර්යේෂණ සඳහා මෙම විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කර ගැනීමද එහි වර්ධනයෙහිලා මනා රුකුලක් හා මහත් ආශිර්වාදයක් වී ඇති බව මෙසේ පෙන්වා දිය හැකිය.


R.D.D.ANURADHA
BA PSYCHOLOGY(SP)(UG),
2ND YEAR ,
UNIVERSITY OF PERADENIYA, 
SRI LANKA.

1 comment: