Saturday, September 22, 2012

මතක තබා ගැනීමේ ක්‍රම 10 ක්





අපි ඉපදුන දා පටන් මැරෙන දවස වෙනකන්ම ඉගෙනගන්නව. ඉගෙන ගැනීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනව. විධිමත් ඉගෙනුම සහ නොවිදිමත් ඉගෙනුම. නොවිධිමත් ඉගෙනුමට අදාළ වෙන්නෙ අපි එදිනෙදා ජීවිතයේ අත්දැකීම් මගින් ඉගෙනීම. විධිමත් ඉගෙන ගැනීම කියන්නෙ නිශ්චිත විෂය මාලාවකට අනුව අපි ලබන අධ්‍යාපනය. අපි පාසල් වල, සරසවියෙදි ලබන්නෙ විධිමත් අධ්‍යාපනය.  විධිමත් ඉගැනුමේදී අපිට අනිවාර්යෙන් මුහුණ දෙන්නට වෙන අභියෝගයක් තමයි විභාග. එම විභාග සමත් වෙන්න නම් අපි විෂය කරුණු මතකයේ තබාගන්න අවශ්‍ය වෙනව. අපි මේ ලිපියෙදි අවධානය යොමු කරන්නේ විධිමත් ඉගෙනගැනීමේදී මතක තබා ගැනීම සඳහා උදව් කර ගත හැකි ක්‍රම 10 ක් පිළිබඳව.


1. ඔබේ විෂය කරුණු කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන්න.


අවධානය, අවධානය අවධානය.  මතක තබා ගැනීම සඳහා ඉතා වැදගත් අංගයක් තමයි අවධානය.අපට ලැබෙන තොරතුරු අපේ කෙටි කාලීන 
මතකයේ සිට දිගු කාලීන මතකයට අතුල් කිරීමට අවධානය අත්‍යාවශය වූවක්. එනම් තොරතුරු පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම. නිතරම අවධානය රඳවා ගැනීම සඳහා රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා ඇති නොවන ස්ථානයක් පාඩම් කිරීම සඳහා යොදා ගන්න. අවට පරිසරය නිරවුල් සහ සාමකාමී වීම අප අවධානය රඳවා ගැනීමට පැහැදිළිව බලපානු ලබනව. එමෙන්ම අපේ අභ්‍යන්තර නිරවුල් බවත් ඉතා වැදගත්. විශේෂයෙන් අපේ පිරිසිදු බව. ස්නානය කර පිරිසිදු වී පාඩම් කරන විට අප අවධානය යොමු කිරීම වඩා සක්‍රීය බව පර්යේෂණයන් පෙන්වාදෙනව. 


2.එක දිගට කට පාඩම් කිරීමේ ක්‍රමය අත්හැර ක්‍රමානුකූල වාර ක්‍රමයක් භාවිත කරන්න.


කාල රාමුවකට අනුව විවේක ලබා ගනිමින් පාඩම් කිරීම එක දිගට කරනු ලබන වෙහෙසකර පාඩම් කිරීමට වඩා ඵලදායී බව පර්යේෂණයන් මගින් තහවුරු කරයි. මැරතන් එකක් දුවන අයුරින් පාඩම් කිරීම ඵලදායී නොවන බව මෙම පර්යේෂණ අපට පෙන්වා දෙයි.අපට අහන්න දකින්න ලැබෙනව අපේ සමහර යහළුවො එක දිගට පැය ගණන් නිදිමරාගෙන පාඩම් කරනව.  සමහරවිට අපිත් එහෙම කරනව. ඒත් බොහෝ විට එයින් අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නෙ නෑ. එයට හේතුව තමයි මිනිහෙකුට යම් දෙයක් කෙරෙහි එක දිගට අවධානය රඳවා ගත හැකි කාලය සීමා සහිත වීම.

නීරෝගී වැඩිහිටියෙකුට එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමට හැකි උපරිම කාලය මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක්. ඉන් පසු අප කොපමණ පාඩම් කලත් බොහෝ විට එය නිශ්ඵල උත්සහයක්. එම නිසා හොඳම ක්‍රමය වන්නේ වාර ක්‍රමය භාවිත කිරීම. එනම් මිනිත්තු 30 ක් පමණ පාඩම් කිරීමෙන් අනතුරුව විනාඩි 5ක 10ක විවේකයක් ලබා ගැනීම. මෙම විවේකයේදි ගීතයක් ශ්‍රවණය කිරීම, නිවසින් පිටතට ඇවිද ඒකාකාරී බව නැති කර ගැනීම, වැනි දෙයක් කරන්න පුළුවන්. ඉන් පසු නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න පුළුවන්.  


3. ඔබේ විෂය කරුණු නිතරම සංවිධානය කරන්න.


පර්යේෂණයන් පෙන්වාදෙන්නේ නිතරම අප තොරතුරු මොළය තුළ ඊට අදාල කොටසට ගමන් කරන බවයි. එනම් තොරතුරු කාණ්ඩ වශයෙන් පවතින බවයි. අප පාඩම් කිරීමේදී මෙයින් ප්‍රයෝජන ලබා ගත හැකිය. නිතරම අපේ තොරතුරු ඊට අදාළ කාණ්ඩය වෙත යැවීම තුළින් අපට පහසුවෙන් මතක තබා ගත හැකි වෙයි. සාමාන අදහස් දනවන සංකල්ප නිතරම එක්  කාණ්ඩයකට ඒකරාශී කිරීමට උත්සහ කරන්න.

උදා :-  හපුතලේ, කැළණි,වික්ටෝරියා, හන්තාන,විමලසුරේන්ද්‍ර,මහවැලි, ලක්ෂපාන,පිදුරුතලාගල,මැණික් 

ඉහත වචන සමූහය අපට මේ අකාරයෙන් තිබෙන විට මතක තබා ගැනීම ඉතා අපහසු කටයුත්තකි. එනමුත් අපට එම වචන පහත අකාරයට අදාළ කාණ්ඩ වලට වෙන් කර සංවිධානය කර ගැනීම මගින් මතක තබා ගැනීම පහසු වේ. 

ගංගා - කැළණි, මහවැලි, මැණික්
කඳු - හපුතලේ, හන්තාන, පිදුරුතලාගල
විදුලි බලාගාර - වික්ටෝරියා, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන  

නිතරම අප මොළය සංවිධානය කරන ලද තොරතුරු පහසුවෙන් මතක තබා ගනී. 


4. තොරතුරු මතකයේ තබා ගැනීමට ස්මෘති උපක්‍රම (mnemonic devices) භාවිත කරන්න.


ස්මෘති උපක්‍රම යනු තොරතුරු නැවත මතකයට නගා ගත හැකි සරල උපක්‍රමයන්ය.  උදාහරණයක් ලෙස ඔබට මතක තබා ගත යුතු කරුණු ඔබට ඉතා සමීප දෙයක් සමග සම්බන්ධ කර මතක තබා ගන්න. වඩා සාර්ථක ස්මෘති උපක්‍රම වන්නේ උපහාසය දනවන එළි සමය අනුව යන කවි, ගීත හෝ කුඩා වාක්‍ය කණ්ඩ ආදියයි. 

උදා :- අප නිතරම භාවිත කරන ස්මෘති උපක්‍රමයක් වන්නේ දිශා මතකයේ රඳවා ගැනීමට ඇති කෙටි වාක්‍යයි.

උපුල් ඊලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්

මින් අට දිශාවන් වන උතුර, ඊසාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බස්නාහිර සහ වයඹ යන ඒවා පහසුවෙන් මතකයට නගා ගනී.


5. අවබෝධයෙන් සහ සවිස්තරාත්මකව පාඩම් කරන්න.


අවබෝධයක් නොමැතිව පාඩම් කරන දෑ මතකයේ ‍රැඳී නොසිටියි. අප පාඩම් කළ දෙයක් නැවත මතකයට නගා ගැනීමට නම් අප එය දිගු කාලීන මතකයේ තැන්පත් කර තැබිය යුතුයි. එලෙස දිගු කාලීන මතකයට අප තොරතුරු ඇතුළත් කිරීමේ වඩා සාර්ථක උපක්‍රමයක් ලෙස අවබෝධයෙන් යුතුව පාඩම් කිරීම සැලකිය හැකිය. අවබෝධයක් නොමැතිව පාඩම් කරන දෑ මතකයේ ‍රැඳී නොසිටියි.

මේ සඳහා උදාහරණයක් ලෙස විෂය කරුණක්  මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය නම් පළමුව එම  කරුණ නිර්වචනය කරගන්න. ඉන් පසු එය පිළිබඳ තව විස්තර කියවමින් අධ්‍යනය කරන්න. මේ අකාරයට කිහිප වරක් කිරීමෙන් ඔබට පහසුවෙන් මතක තබාගත හැකි බව ඔබට වැටහෙනු ඇත. 


6. ඔබ පෙර ඉගෙනගත් කරුණු සමග නව තොරතුරු ගලපන්න.


අලුත් යමක් පාඩම් කරන විට නිතරම ඔබ උගත් පැරණි කරුණු හා මේවා අතර ඇති සම්බන්ධය සොයන්න. එලෙස නව කරුණු සහ පැරණි කරුණු 
අතර සම්බන්ධය සොයාගැනීමෙන් ඒවා නැවත මතකයට නගා ගැනීම ඉතා පහසු වේ.  අලුත් කරුණ නිසා පැරණි කරුණ හෝ පැරණි කරුණ නිසා අලුත් කරුණ නිරායාසයෙන් මතකයට නැගේ.

උදා :-  ඔබ ලෝක ඉතිහාසය පිළිබඳ පාඩම් කරමින් සිටින විට ඊශ්‍රායලය 1948 නිදහස ලැබූ බව සඳහන් වෙයි. එවිට ඔබ එය ඔබ දන්නා පැරණි කරුණක් සමග ගලපයි. එනම් ලංකාවද 1948 නිදහස ලබයි. ඉන් පසු ඔබට ශ්‍රි ලංකාවේ නිදහස් දිනය මතකයට නැගෙනවිට ඊශ්‍රායලයේ නිදහස් දිනයද, ඊශ්‍රායලයේ නිදහස් දිනය මතකයට නැගෙන විට ශ්‍රී ලංකාවේ නිදහස් දිනයද නිරායාසයෙන් සිහියට පැමිණෙයි.


7. මතක තබා ගැනීම සඳහා මානසික චිත්‍ර උපයෝගී කරගන්න.


බොහෝ විට සාර්ථක ක්‍රමවේදයකි පාඩම් කිරීමේදී මානසික චිත්‍ර භාවිතය. මානසික චිත්‍රයක් යනු අප යම් පින්තූරයක් ආකාරයට මතක තබා ගැනීමයි.  මානසික චිත්‍ර භාවිතයේදී බොහෝ විට සාර්ථක වන්නෙ රූප සටහන්, වගු, ප්‍රස්ථාර වලදීය. එම නිසා ඔබේ දීර්ඝ ඡේද ආකරයේ විෂය කරුණු එවැනි වගු, රූප අසටහන්, ප්‍රස්ථාර ආදියට පරිවර්තනය කරගන්න. තවද ඔබේ සටහන් තුළම වර්ණ පෑන් යොදාගනිමින් වැදගත් කරුණු විශේෂීකරණය කිරීමද මෙහිදී සාර්ථකය. එවිට ඔබට ඒවා මානසික චිත්‍ර ලෙස මතකයට පැමිණේ.

උදා :- ලංකාවේ පිහිටීම ඔබට එක්වරම මතක් වන්නේ ලෝක සිතියමක් මනසින් චිත්‍රනය කිරීම මගිනි. 


8. ඔබ උගත් දෑ තව අයෙකුට උගන්වන්න.


පර්යේෂණ මගින් පෙන්වාදෙනුයේ ශබ්දනගා කියවීම මතක තබා ගැනීමේදී සාර්ථක ක්‍රමයක් වන බවයි. මනෝවිද්‍යාඥයින් හෙළිකරගෙන ඇති තවත් කරුණක් වනුයේ අප උගත් දෙයක් තවත් අයෙකුට කියා දෙන විට ඒ සම්බන්දයෙන් අපගේ අවබෝධය සහ මතකය වර්ධනය වන බවයි. ඔබගේ යහළුවෙකුට ඉගැන්වීම මගින් මෙය ක්‍රියාවේ යෙදිය හැක. එය ඔබ උගත් දෑ පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරනු ඇති අතරම මතකයද වර්ධනය කරනු ඇත. 


9. අසීරු කරුණු වලදී වැඩිපුර කාලය වැය කරන්න.


නිතරම පරිච්ඡේදයක මුල් සහ අවසාන කරුණු පහසුවෙන් මතකය තුළ තැන්පත් වෙයි. අතර මැද ඇති කරුණු මතකයට නගා ගැනීම අපහසු කටයුත්තක් බව පර්යේෂණ පෙන්වා දෙයි. මෙහිදී අමතර කාලයක් මෙම අපහසු කරුණු සඳහා යෙදවීම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය. නිතරම පාඩම අමාරු වන විට අමතර කාලයක් ඒ සඳහා වැය කරන්න.


10. ඔබ පාඩම් කරන ආකාරය නිතරම වෙනස් කරන්න.


මතකය වර්ධනය කරගැනීමේ තවත් ක්‍රමයක් වන්නේ කලින් කලට ඔබ පාඩම් කරන ක්‍රමය වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ නිතරම එකම ස්ථානයක සිට පාඩම් කරන්නේ නම් එයින් මිදී වෙනත් ස්ථානයකට ගොස් පාඩම් කරන්න. ඔබ පාඩම් කරන්නේ හවස නම් උදෑසන පාඩම් කළ දෑ නැවත සිහිපත් කරන්න උත්සහ ගන්න. මේ අයුරින් පාඩම් කරන ආකාරය කලින් කලට වෙනස් කිරීම මගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

ඉහත සඳහන් කර ඇත්තේ මතක තබා ගැනීමේ උපක්‍රම අතුරින් කිහිපයකි. එම ක්‍රම උපයෝගී කරගනිමින් ඔබ ඔබේ කටයුතු සාර්ථක කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

S. A. SUCHINTHANA DASUN, 
BA PSYCHOLOGY (SP)(UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.




Thursday, September 13, 2012

ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ සහ අපි




මිනිසුන් මෙතරම් යුධ වදින්නේ ඇයිද? මිනිසුන් මෙතරම් ප්‍රචණ්ඩ වන්නේ ඇයිද? එම මිනිසාම අනතුරකදී තවකෙකුට උදව් කරමින් ඔහුගේ දිවි ගලවන්නේ ඇයිද? යුධ වදින මිනිසාම සාමකාමී මිතුරෙකුගේ චරිතය නිරූපණය කරන්නේ කෙසේද?
මිනිස් ස්වභාවය ඉතා සංකීර්ණ වූවකි. ඉතිහාසය පුරාවට අප අපව තේරුම් ගැනීමට උත්සහ කරමින් සිටිමු. මෙම කාර්යේදී වඩා සාර්ථක වූ පුද්ගලයෙකි මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ්. මිනිසා පිළිබඳ විග්‍රහ කිරීමේදී ඔහුගේ Id (ඉඩ්), Ego (ඊගෝ), Super Ego (සුපර් ඊගෝ)  සංකල්පය  සාර්ථක සහ වඩා ජනප්‍රිය පිවිසුමකි. පෞරුෂය පිළිබඳ මනෝ විශ්ලේශණාත්මක මතය පදනම් කරගනිමින් ෆ්‍රොයිඩ් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. පෞරුෂය යනු එක් එක් මිනිසාගේ ස්වභාවය තීරණය කරනු ලබන සාධකයයි. එම පෞරුෂය නිර්මාණය වනුයේ 'ඉඩ්' (Id), 'ඊගෝ' (Ego) සහ 'සුපර් ඊගෝ'  (Super Ego) යන අංග ත්‍රිත්වයෙන් බව ෆ්‍රොයිඩ් පවසයි.

ඉඩ් (Id)

'ඉඩ්' යනු අප උපතින්ම ‍රැගෙන එන අංගයයි. සහජ ආශයන් එනම් ප්‍රාථමික ආශාවන් සහ අවශ්‍යතාවන් හා සම්බන්ධ අංශයයි. ආහාර පාන, සැපපහසුකම්, ලිංගිකත්වය  කෙරෙහි අප පොළඹවනු ලබන්නේ 'ඉඩ්' විසිනි. අපට බඩගිනි ඇති වූ විට ආහාර කෙරෙහිද, තිබහ වූ විට පාන කෙරෙහිද අප සහජයෙන් ඒ වෙත යොමුවෙනු ලබයි. එසේ නම් 'ඉඩ්' අවිඥානිකය.  එසේම ඉඩ් ක්‍රියා කරනු ලබන්නේ සංතුෂ්ටි මූලධර්මයට අනුවයි. සංතුෂ්ටි මූලධර්මයට යනු අප සියලු ආශාවන් වහා ඉ‍ටු කරගැනීමේ මූලධර්මයයි. අප බඩගිනි හෝ තිබහ ඇති වූ විට ඉක්මනින් එම අවශ්‍යතාවය සපුරා ගැනීමට වෙහෙසෙයි. කුඩා දරුවෙකු නම් තම අවශ්‍යතාවය ඉ‍ටුවනතුරු හඬයි. ඉඩ් සෑම විටම හොඳින් හෝ නරකින් අප ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා අපව පොළඹවනු ලබයි. 
එනමුත් අප කවුරුත් දන්නා පරිදි අප සියලු ආශාවන් ක්ෂණිකව ඉෂ්ට කර ගැනීමට අපට කිසි විටක ඉඩ ලැබෙන්නේ නැත. අපේ සමහර ආශාවන් සහ අවශ්‍යතාවන් කිසිදිනෙක ඉ‍ටු නොවෙන අතර සමහර ඒවා වෙනුවෙන් කල් මැරීමට සිදු වෙයි.
උදා :- පංතියේදී සියල්ලන් ඉදිරියේ අතමන්ට අපහාස කළ තම මිතුරා මරා දැමීමට තමන්ට වුවමනා වුවද එය කිසි දිනෙක ඉ‍ටු නොවෙන්නට පුළුවන. එමෙන්ම පංතියේ ගුරුතුමිය පාඩම උගන්වන අතරතුර බඩගිනි ඇති වුවද විවේක කාලය පැමිණෙන තුරු ‍රැඳී සිටීමට අපට සිදු වේ.
එහෙත් සංතුෂ්ටි මූලධර්මය මත ක්‍රියාත්මක වන 'ඉඩ්' ක්ෂණික සන්තර්පනයක් බලාපොරොත්තු වෙයි. එසේ සිදු නොවන විට නොඉවසුම් ආතතිකාරී අවස්ථාවකට මුහුණ දෙනු ලබයි. මෙවන් අවස්ථාවකදී 'ඉඩ්' විසින් ප්‍රාථමික ක්‍රියාවලියක් මගින් එම ආතතිකාරී තත්ත්වයෙන් මිදෙන්නට උත්සහ ගනී. එය නම් තම අවශ්‍යතාවය ආශාව මානසික චිත්‍රයක් මගින් සංසිඳවා ගැනීමයි.
උදා :- තමාට අපහාස කළ මිතුරා මරා දැමීම සැබෑ ලෝකයේදී කළ නොහැකි නිසා අප ඔහුව මරා දමන ආකාරය සිතින් මවා ගනී. පාඩම අතරතුර බඩගිනි වුවද විවේකය වන තුරු කෑම ගැනීමට නොලැබෙන නිසා . ආහාර සිතින් මවා ගනිමින් ආතතිකාරී තත්ත්වය යටපත් කරගනු ලබයි.
මෙම මානසික චිත්‍රය හිතා මතාම සිදු කරන්නක් විය හැකි අතර තවද එය සිහිනයක්, මිරිඟුවක් හෝ මායාවක් යන ඕනෑම එකක් වීමට හැක.  එනමුත් ෆ්‍රොයිඩ්ට අනුව මෙය දිගු කාලීන විසඳුමක් නොවේ. සිදු වන්නේ ආතතිකාරී තත්ත්වය මදකට මැඩ පැවැත්වීමයි. මානසික චිත්‍රය මගින් කෙටි කාලීනව ආතතිය මැඩපවත් වුවද සත්‍ය වශයෙන් ආශාවන් ඉ‍ටු වී නොමැති නිසා ක්‍රමයෙන් නැවත මානසික අසහනයට පත් වෙනු ලබයි. 'ඉඩ්' යනු අප අභ්‍යන්තරයේ ප්‍රචණ්ඩත්වයයි. 'ඉඩ්' තම ආශාව සපුරා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටී. අප තුළ සිටින 'ඉඩ්' ගේ ස්වභාවය එය වුවද අප කවුරුත් දන්නා පරිදි ප්‍රායෝගික ජීවිතය තුළ අප එසේ නොකරන බව දනිමු. අපට යම් පුද්ගලයෙකු මරා දැමීමට වුවමනා වුවද අප එසේ නොකරමු. එසේ අප ඉඩ් පාලනය වීමට හේතුව 'ඊගෝ' සහ 'සුපර් ඊගෝ' ය. 
   

සුපර් ඊගෝ (Super Ego)

'සුපර් ඊගෝ' යනු අප තුළ පවතින සදාචාරයයි, සංස්කෘතිය විසින් අපට ඉගැන්වූ සම්මතයයි. මෙම සදාචාරාත්මක ලක්ෂණ අප හිමි කර ගන්නෙ අප දෙමව්පියන්ගෙන් සහ අප ජීවත් වන පරිසරයෙනි. 'සුපර් ඊගෝ' නිර්මාණය වීම සඳහා එම කරුණු දෙක ඉතා තීරණාත්මක වෙයි. ජීවිතයේ තීරණ ගැනීමේදී 'සුපර් ඊගෝ' අපට මග පෙන්වන්නෙක් ලෙස කටයුතු කරයි. වයස අවු 5 සිට 'සුපර් ඊගෝ' අප තුළ වර්ධනය වන බව ෆ්‍රොයිඩ් පවසයි.
'සුපර් ඊගෝ' ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙයි.
        1. 'ඊගෝ' පරමාදර්ශය - 'ඊගෝ' පරමාදර්ශය යනු දෙමව්පියන් සහ නීතිය මගින් අනුමත කරන ලද             හොඳ හැසිරීමයි. එය අනුගමනය කිරීම තුළින් ගෞරවය සහ වටිනාකම පිළිබඳ හැඟීම්  අප තුළ  ඇති වේ.

        2. හෘද සාක්ෂිය - මෙයින් අදහස් වන්නේ සමාජය සහ     දෙමව්පියන්     නරකයැයි සලකන    අසම්මත             චර්යාවන්ය. නිතරම මේවා තහනම් දේවල් වන අතර එවන් දේ සිදු කිරීම මගින් අපට ප්‍රතිවිපාක        ලෙස දඬුවම් හෝ අප තුළ අප වරදකරුවෙක්ය යන හැඟීම ඇති කරනු ලබයි.

සුපර් 'ඊගෝ' අප චර්යාවන් ශිෂ්ට සම්පන්න කිරීමට සහ සම්පූර්ණ කිරීමට ක්‍රියාත්මක වෙයි. එය විසින් 'ඉඩ්' අපට යොමු කරනු ලබන අනුමත කළ නොහැකි පෙළඹවීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා 'ඊගෝ' වෙත බලපෑම් කරනු ලබයි.
උදා :- මහ මග ගමන් කරන විට ‘ඉඩ් ’ විසින් අපට විවිධ ලිංගික ආශාවන් සඳහා පෙළඹවීම් සිදු කළද ‘සුපර් ඊගෝ ’ මේ මහ පාර බව අපට මතක් කර දෙයි. එම නිසා අප සිතුවිලි එම අවස්ථාවේ ක්‍රියාවට නංවන්නේ නැත.
'සුපර් ඊගෝ' අප විඥානය, උපවිඥානය සහ අවිඥානය යන ත්‍රිත්වයේම පවතී.

ඊගෝ (Ego)

'ඊගෝ' යනු  යථාර්තය සමග ගණුදෙනු කරනු ලබන පෞරුෂය අංගයයි. ෆ්‍රොයිඩ්ට අනුව 'ඊගෝ' වර්ධනය වනුයේ 'ඉඩ්' තුළිනි. ඉන් පසු 'ඉඩ්'ගේ ආශාවන් ලෝකය පිළිගන්නා ආකාරයට සංසිඳවීම 'ඊගෝ' විසින් සිදු කරනු ලබයි. 'ඉඩ්' සංතුෂ්ටි මූලධර්මය මත ක්‍රියාත්මක වන විට 'ඊගෝ' තත්‍යතා මූලධර්මය මත ක්‍රියාත්මක වෙයි. එනම් ඉඩ්ගේ ආශාවන් සමාජය පිළිගත් ක්‍රම වේදයට සන්තර්පනය කිරීමයි.
මෙහිදී ඊගෝ භාවිත කරනු ලබන ක්‍රමයක් වන්නේ සන්තර්පනය කිරීම ප්‍රමාද කිරීමයි. පසුව සුදුසු වෙලාව සහ ස්ථානය ලැබුණු කල ඊගෝ විසින් ඉඩ්ගේ ආශාව සන්තර්පනය කරනු ලබයි.
උදා :- පංති කාමරයේදී බඩගිනි වූ විට ඉඩ් කෑම ගන්නා ලෙස බල කලද 'ඊගෝ ' විසින් එය ප්‍රමාද කර විවේක කාලයේදී අහාර ගැනීමට සලස්වනු ලබයි.
'ඉඩ්' සහ 'සුපර් ඊගෝ' යන ප්‍රතිවාදීන්ගේ මැදහත් බේරුම්කරුවා 'ඊගෝ' ය. 

ඉඩ්, ඊගෝ සහ සුපර් ඊගෝහි ක්‍රියාකාරීත්වය.

'ඉඩ්' යනු නිරන්තරයෙන් තම ආශාවන් කෙසේ හෝ සපුරා ගැනීමට වෙහෙසෙන්නෙකි. 'සුපර් ඊගෝ' යනු අපව සදාචාරාත්මක හැසිරීමකට යොමු කරන්නෙකි. එසේ නම් මෙම දෙදෙනා එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙයි. මෙම ප්‍රතිවිරුද්ධතාව පාලනය කරනුයේ 'ඊගෝ' විසිනි. 'ඉඩ්'ගේ ආශාවන් සමාජය පිළිගත් ආකාරයට සපුරාදීමෙන් 'ඉඩ්' සහ 'සුපර් ඊගෝ' අතර ගැ‍ටුම සමනය කිරීම 'ඊගෝ' විසින් සිදු කරනු ලබයි.
උදා :- රාත්‍රී උත්සව අවස්ථාවකට සහභාගී වූ යුවළකට ලිංගිකව එකතු වීමේ අවශ්‍යතාවය 'ඉඩ්' විසින් ඇති කරනු ලබයි. එනමුත් දෙදෙනාගේම 'සුපර් ඊගෝ' එය නොකරන ලෙසද අවට මිනිසුන් සිටින නිසා මේ ඊට සුදුසු ස්ථානය නොවන බවද පවසයි. මෙම ගැ‍ටුම සමනය කිරීමට මැදිහත් වන 'ඊගෝ' හුදකලා ස්ථානයක් වෙත දෙදෙනාව ‍රැගෙන යනු ලබයි.
ඊගෝ බලවත් මිනිසුන් 'ඉඩ්' සහ 'සුපර් ඊගෝ' ගැ‍ටුම පාලනය කර ගැනීමට සමත් වෙයි. එසේ නොවන මිනිසුන් 'ඉඩ්' දෙසට වැඩිපුර නැඹුරු වීම හෝ 'සුපර් ඊගෝ' දෙසට වැඩිපුර නැඹුරු වීම සිදු කරනු ලබයි. එවිට අන්තවාදී ප්‍රචණ්ඩත්වය හෝ අන්තවාදී සදාචාරාත්මක මිනිසෙකු බිහි විය හැක.
ෆ්‍රොයිඩ් පැවසූයේ වඩා සුදුසු වන්නේ 'ඉඩ්', 'ඊගෝ' සහ 'සුපර් ඊගෝ' සමබරව පැවතීම බවයි. අප සියළුදෙනා පවතින්නේ මෙම අංග ත්‍රිත්වයේ අන්තර් ක්‍රියාකාරීත්වය මත බව ෆ්‍රොයිඩ් පෙන්වාදෙයි. මිනිසා පිළිබඳ මෙතෙක් කරන ලද විශිෂ්ටම විග්‍රහයක් ලෙස ෆ්‍රොයිඩ්ගේ මෙම සංකල්පය හැඳින්විය හැක.


S. A. SUCHINTHANA DASUN, 
BA PSYCHOLOGY (SP)(UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.


Saturday, September 8, 2012

ඉවාන් පැව්ලෝව්ගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය



ඉවාන් පැව්ලෝව් රුසියන් ජාතික මනෝවිද්‍යාඥයෙකි. ඔහු රුසියාවේ කුඩා ගමක 1849 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන දින උපත ලැබීය. ඔහුගේ පියා පැවිදි පුද්ගලයෙක් විය. ඔහුගේ මුල් කාලීන අධ්‍යාපන කටයුතු දේවධර්මය ආශ්‍රිතව සිදුවුනු අතර නමුත් පසුව චාල්ස් ඩාවීන්ගේ The Origin of the Species නැමැති කෘතිය කියවීමෙන් පසුව දේවධර්මය පිළිබඳ ඉගෙනීම අතහැර ඒ වෙනුවට විද්‍යාව පිළිබඳ ඉගෙනීමට පටන් ගන්නා ලදි. ඒ අනුව ඔහු 1870 දී ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ හෑදෑඅරීම ආරම්භ කරන ලදි.

එමෙන්ම ඔහු චර්යා මනෝවිද්‍යාවට විශාල සේවයක් ඉටුකරන ලද අතර එම නිසා ඔහුගේ මෙම පරීක්ෂණ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් හේතු විය.

ඉවාන් පැව්ලොව් මෙම පරීක්ෂණය ආරම්භ කරන ලද්දේ ආහාර පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන පරීක්ෂණයක් ලෙසටය. මෙහිදී ඔහු කෑමට සුදුසු හා නුසුදුසු ද්‍රව්‍ය ලබා දෙමින් විවිධ තත්ත්වයන් යටතේ සුනඛයෙකු වගුරන ඛේට ප්‍රමාණය පිළිබඳව සොයා බලනු ලැබීය. ඒ අනුව ඔහු ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා සුනඛයෙකුගේ ඛේට ග්‍රන්ථියේ කුඩා නළයක් සවි කරන්නට විය. කෙසේ උවද අවසානයේ මෙම පර්යේෂණය මනෝවිද්‍යාවේ සංධිස්ථානයක් වූ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය හෙලිදරව් කරගන්නා ලදි. මේ අනුව සම්භාව්‍ය ආරෝපණ න්‍යාය පිලිබඳව සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත්කරන ලද්දේ 1920 දීය. 

පැව්ලොව් මෙහිදී මස් බඳුනක් රැගෙන එන විට දී සුනඛයාගෙන් කෙල වැගිරීමක් සිදු නොවීය. ආරම්භයේදී සුනඛයා කෙළ වැගිරීම සිදු කළේ මස් කැබැල්ල කන විට පමණි. මුල් අවස්ථාවේ ආහාර (මස්) අනාරෝපිත උත්තේජකයක් විය. ඒ අනුව කෙළ වැගිරීම අනාරෝපිත ප්‍රතිචාරයක් විය. නැතහොත් ස්වභාවික ප්‍රතිචාරයකි. මෙය නිරීක්ෂණය කළ පැව්ලොව් සුනඛයාට මස් දීමට ප්‍රථම සීනුවක් නාද කළේය. ආහාර සමඟ සීනුව නාද කිරීමට පෙර සුනඛයා සීනුව ආශ්‍රිතව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. එහෙත් මස් සමඟ  නිරන්තරයෙන් සීනුව නාද වීමත් සමඟ සමඟ සුනඛයා සීනුවේ නාදයට කෙළ වැගිරීම සිදුකරනු ලැබීය. ඒ අනුව සුනඛයා, සීනුව හා ආහාර අතර යම් සම්බන්ධතාවයක් උගත්තේය. මේ අනුව සීනුවට කෙළ වැගිරීම ආරෝපිත ප්‍රතිචාරයක් වූ අතර සීනුව ආරෝපිත උත්තේජකය විය.

පැව්ලොව්ගේ  සොයා ගැනීම අතර මෙම මූලික ආරෝපණ ක්‍රමය ආලෝකය රූප වැනි උත්තේජක රාශියක් සමඟ යොදා ගත හැකි බව ඔහු අවධාරණය කළේය.




R.H.UDESHIKA HEWAGE
BA. PSYCHOLOGY (SP) (UG),
2ND YEAR ,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.